Monday, January 13, 2025

General line - 0115112241

ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අවධානය




රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමුකර තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු  වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා  පිළිබඳව  එහිදී  සාකච්ඡා කර තිබෙනවා. 

සෘජු ආයෝජන අවස්ථා සහ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන් පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
 

ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප්‍රධානී  ටකියෝ කොයිකේ ඇතුළු එම බැංකුවේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සහ මුදල් අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.