Monday, January 13, 2025

General line - 0115112241

කැලණි ගඟ සහ කලා ඔය ගංවතුර අවදානමක

රංජිත් රාජපක්ෂ




කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. 

ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවේ.


වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කලාඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන කලාඔය නිම්නයේ පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. 

මහවැලි ගං ද්‍රෝණියද අවදානම් තත්ත්වයේ පවතින බව ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවා.


ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත කෙරුණා. 
 

නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසුවේ නුවරඑලිය සහ ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත්  අධික වැඩි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රිලයව විවෘත වන බවයි. 

එබැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ.
 

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා. 

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දහයක් සහ අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
 

මල්වතුඔය ආශ්‍රිත ජනතාවද දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව ද වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවා.


රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය, අඩි පහක් උසට වාන් හතරක් ද, අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන් දෙකක්ද විවෘත කර ඇති බව රාජාංගනය ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසුවා. 

එහි ජලය කළා ඔයට මුදා හැරෙන අතර අංගමුව ජලාශයේ ජලය මුදා හැරෙන්නේ ලුණුඔයටයි.