Sunday, January 12, 2025

General line - 0115112241

පීඩන අවපාතයේ වැඩිම බලපෑම උතුරට සහ ත්‍රිකුණාමලයට




නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවයි. 

මේ හේතුවෙන් උතුරු පළාතට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මිලි මීටර් 150ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය සඳහන් කළා.

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වෙමින් ඇති බැවින් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකිය සිටිය යුතු බවද ඇය සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ සුළි කුණාටුව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නැති බවයි. 

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04කට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. 

මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්කයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අවදානම අද පස්වරු 7:00 දක්වා වලංගු වන බවයි.