පයාගල හා අවට ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත වූ "පෙට්ටි මල්ලී” ලෙසින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පයාගල පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
කොස්හේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිටුපස ලඳු කැලෑවක හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එහි වටිනාකම ලක්ෂ තුනක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.
ඔහු මීට සති දෙකකට පමණ පෙර හෙරොයින් ජාවාරම් කිරීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙක්.
ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු බන්ධනාගාරගතව සිටින කාලය තුළදී විදේශ රටක සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙම හෙරොයින් ජාවාරම සිදු කළ බවයි.
මෙම සැකකරු ඉතා සූක්ෂම ලෙස පයාගල, නාගහදූව, මග්ගොන, කටුකුරුන්ද, ඈතගම යන ප්‍රදේශවලට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර එම ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණ වාර්තා ඉදිරියේදී විමර්ශනය කිරීමටද නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.