Sunday, January 12, 2025

General line - 0115112241

චෝදනා එල්ල වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට ඇප

උදය කුමාර




රේගු බදු නිසි පරිදි නොගෙවා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර  සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු  ඇතුළු පස් දෙනෙකු හා  අදාළ වාහනයේ හිමිකරු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එක් එක් සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුවන්ට විදේශගත විය නොහැකි බවටත් නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය එහිදී සඳහන් කළේ 2015 වසරේදී අදාළ වාහනය ලියාපදිංචි කර ඇති බව සඳහන් කළත් එය සත්‍ය වශයෙන්ම ලියාපදිංචි කර තිබෙන්නේ 2019 වසරේ බවයි. 

ඊට අදාල අංක තහඩු නිකුත් කර තිබෙන්නේ 2019 වසරේ යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරිය මෙම වාහනයට අදාල අංකයට වාහන  දෙකක් ලියාපදිංචි කර තිබෙන බවත් සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

මෙහිදී විත්ති  පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීමකින් තොරව හා චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමකින් තොරව සිය සේවා දායකයින්ට එරෙහිව මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම යුක්ති සහගත නොවන බව සඳහන් කළා. 

අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට  අනුව ඔවුන් අධිකරණය හමුවට පැමිණ තිබෙන බවත් ඔවුන් ඇප මත මුදාහරිණ ලෙසත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවලට බලපෑම් නොකිරීමේ කොන්දේසියට යටත්ව සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මෙම නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මස 21 වනදා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට එහිදී නියෝග කළේ.