Sunday, January 12, 2025

General line - 0115112241

සුදු වෑන් නඩුවෙන් හිටපු ඇමති රාජිත නිදහස්

උදය කුමාර




සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2019  ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති  ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ  සිදුකළ බව කියන සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම්, මිනී මැරීම ඇතුළු අපරාධ ක්‍රියා පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබුණා. 

එම මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණේ චෝදනා 17 ක් යටතේයි.
 

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකරුවන්ට අදාල චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. 

අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවකු  සාක්ෂිය සඳහා කැඳවීමට පැමිණිල්ල කටයුතු කර නොමැති බවයි. 

ඉදිරිපත් වූ සෙසු සාක්ෂිවලින් ද ජනාධිපතිවරණයේදී අගතියට පත් වූ බව කියන අපේක්ෂකයාට අගතියක්  සිදුවූ බව තහවුරු කරන සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. 
 

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කිරීමට තරම් සෑහීමකට පත්විය හැකි සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වී නොමැති හෙයින් මෙම විත්තිකරුවන් දෙදෙනා විත්තිවාචකය නොකැඳුවාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
 

එමෙන්ම මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග වහාම ඉවත් කරන ලෙස විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා. 

ඊට අමතරව අධිකරණය භාරයේ පවතින විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියම කළා.