Sunday, January 12, 2025

General line - 0115112241

වායු සමීකරණ යන්ත්‍රයක් ගන්න අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අල්ලයි




වායු සමීකරණ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ 70,000ක මුදලක් වෙළඳසැල් කළමනාකරුවෙකුගේ ගිණුමකට බැර කර ගැනීමට කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. 

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය තුළදී එලෙස මුදල් බැර කිරීමට කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. 

පැමිණිලිකරු විසින්  කුලී පදනම මත ලබා දුන් මෝටර් රථයක් උකස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල විභාග කර දීම වෙනුවෙන් සහ මෝටර් රථයේ හිමිකරුට අධිකරණය මගින් මෝටර් රථය ආපසු ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා එලෙස වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.