Thursday, December 26, 2024

General line - 0115112241

කථානායක ධූරයට තුන්කොන් සටනක්




කථානායක ධූරය සඳහා මේ වන විට නම් තුනක් යෝජනා වී ඇති බවට වාර්තා වනවා. 

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි සහ නිහාල් ගලප්පත්ති යන මහත්වරුන්ගේ නම් එලෙස යෝජනා වී ඇති බවයි වාර්තා වුණේ.

ආචාර්ය උපාධියට අදාළව, කථානායක ධූරය හෙබ වූ අශෝක රංවල මහතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම විවිධ අදහස් පළ වුණා. 

ඒ අතරින් බොහෝ පාර්ශව කියා සිටියේ අශෝක රංවල මහතාට ආචාර්ය උපාධියක් හිමිව නොමැති බවයි. 

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් සිදුකරන බව අශෝක රංවල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. 

කෙසේවෙතත් තවදුරටත් එල්ල වූ චෝදනා හමුවේ කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අශෝක රංවල මහතා කියා සිටියා. 

තමන්ට හිමි උපාධියට අදාළ සියලු ලිපි ලේඛන ඉදිරියේදී ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා. 

අශෝක රංවල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දුන් බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

පාර්ලිමේන්තුව ලබන 17 සහ 18 දෙදින රැස්වීමට නියමිතයි. එම දින දෙක ඇතුළත නව කථානායකවරයෙකු පත් කර ගනු ඇති බවටයි දේශපාලන ආරංචි කියා සිටියේ.

මේ අතර ඉල්ලා අස් වූ කථානායක අශෝක රන්වල මහතා සම්බන්ධයෙන් මේ වන විට දේශපාල වේදිකාවල විවිධ අදහස් පළ වනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පැවසුවේ හිටපු කථානායකවරයා සිය මන්ත්‍රී ධූරයෙනුත් ඉල්ලා අස්විය යුතු බවයි.


විපක්ෂය විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට ආණ්ඩුව ක්‍රමානුකූලව පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සොයා බෑලීමක් සිදුකල යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ.