මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.
එහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එමෙන්ම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා.
රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.