Sunday, December 29, 2024

General line - 0115112241

විස්සයි විස්ස පළමු තරගයේ ජය නවසීලන්තයට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය ලකුණු 08 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. 

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා. 

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව   172 ක්. 

ඩැරල් මිචෙල් පන්දු 42 කදී ලකුණු 62 ක් රැස් කළා. 

මයිකල් බ්‍රේස්වෙල් පන්දු 33 කදී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 59 ක්. 

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 02 බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 173 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවි රැස් කිරීමට හැකි වූයේ ලකුණු 164 ක් පමණයි. 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 60 කදී ලකුණු 90 ක් රැස් කළා. 

ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හතක් ඇතුළත් වුණා. 

කුසල් මෙන්ඩිස් ලකුණු 46 යි. 

කෙසේවෙතත් සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 09 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ. 

පන්දු යැවීමේදී ජේකොබ් ඩෆී කඩුලු 03 ක් බිඳ හෙලුවා. 

මැතිව් හෙන්රි සහ සකරි ෆෝක්ස් අතර කඩුලු 02 බැගින් බෙදී ගියා. 

ජේකොබ් ඩෆී තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරගය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.