Sunday, December 29, 2024

General line - 0115112241

මිලියන 09 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයකු සහ තවත් පුද්ගලයෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

උදය කුමාර




රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සලෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ජනවාරි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 

ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පිටකෝට්ටේ ප්‍රදේශයේදීයි. 
 

පැමිණිලිකරුට අයත් කොළඹ ටොරින්ටන් ඇවනිව්හී පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇති අතර ඒ වෙනුවෙන් හිමිවිය යුතු රුපියල් කෝටි 11 ක වන්දි මුදලින් කොටසක් ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා මෙම සැකකරුවන් විසින් අදාළ අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා. 

එහිදි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. 

එහිදී එම කොමිසමේ නිලධාරීන් අධිකරණයේදී සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරයට අදාළව අපැහැදිලි තත්ත්වයන් රැසක් පවතින බවත් සැකකරුවන්ගේ අසනීප තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඔවුන් ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.