වාහනවල සවිකර ඇති අමතර උපාංග හේතුවෙන් අනතුරුවලදී සිදුවන හානි වැඩිවන බව නිරීක්ෂණ පෙනී ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
ඔවුන් සඳහන් කළේ මෙම අමතර උපාංග හේතුවෙන් ඇතැම් අවස්ථාවල පුද්ගලයින්ට ජීවිත ද අහිමි වී ඇති බවයි.
බස් රථ හා ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතාබහක් පවතිනවා.
සැබැවින්ම මෙම අමතර උපාංග මගී ජනතාවගේ ජීවිතවලට හානියක් ගෙන දෙන්නේදැයි නෙත් නිවුස් වෛද්‍යවරුන්ගේ මතය විමසා සිටියා.
විශ්‍රාමික අධිකරණ වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා පැවසුවේ ත්‍රීරෝද රථවල අමතරව සවිකර ඇති උපාංගවල ගැටීමෙන් ජීවිත හානි සිදුවූ අවස්ථා පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.
කරාපිටිය ශික්ෂණ රොහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා සඳහන් කළේ වාහනවල අමතර උපාංග හේතුවෙන් සිදුවන අනතුරුවල බරපතලකම වැඩි වී ඇති බවයි.
මේ අතර පොලිසිය විසින් සිදු කරන රථ වාහන පරීක්ෂා කිරීම්, පෞද්ගලික බස් රථ හා ත්‍රීරෝද රථ පමණක් ඉලක්ක කර සිදුකරන වැඩසටහනක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සිය දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරයකින් තොරව කිසිදු වාහනයක අලංකරණ කටයුතු සඳහා වෙනස් කිරීමක් සිදු කිරීමට නිත්‍යානුකූල අවසරයක් නොමැති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද පැවසුවේ.