Tuesday, January 14, 2025

General line - 0115112241

තිරසර සාමය හා සමගිය ප්‍රවර්ධනයට වගවන බවට තෛපොංගල් දිනයේ ජනපතිගෙන් පොරොන්දුවක්




තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහි ලා නවමු බලාපොරොත්තු අවදි කරන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රට තුළ ජනිත නව උද්යෝගයත් සමඟ “ලස්සන ජීවිතයක” බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමඟිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම දරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 
 

මේ අතර, තෛපොංගල් උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද සුබපැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. 

ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක්ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම ආණ්ඩුව හමුවේ ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එම සුබපැතුම් පණිවිඩයේ දක්වා ඇත්තේ.
 

ආණ්ඩුව සහ රාජ්‍යය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම් සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්ථනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇති බවද අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරිය එහි සඳහන් කර තිබෙනවා. 

සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම, අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක් වන බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ තෛපොංගල් සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.
 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිතුක් කර තිබෙනවා. බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති මාතෘභූමිය තුළ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීමට හේතුවක් වන බව විපක්ෂ නායකවරයා එම සුබපැතුම් පණිවිඩයේ දක්වා තිබෙනවා.