කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති අතර RCT ග්‍රේලයින් 1 හා 2 යන අංගනවලින් බහලුම් 242ක් පරීක්ෂාව අවසන් කොට නිදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
රේගුවෙන් දිනකට බහාලුම් 500ක් පමණ පරීක්ෂා කර නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වීම හේතුවෙන් ඊයේ දිනයේ නිදහස් කළ බහාලුම් ප්‍රමාණය පහත මට්ටමක පැවති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල්, සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
අද උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබූ බවද ඔහු කියා සිටියා.
රේගුව විසින් නිදහස් කළ, එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිෂ්කාශන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහලුම් 603ක් කොළඹ වරාය තුළ අද උදෑසන වනවිට ඉතිරි වී තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
කොළඹ වරායේ බහාලුම් පර්යන්ත තුළ ඉඩකඩ ඇහිරීමට එමගින් සැලකිය යුතු බලපෑමක් සිදු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අද දින නිවාඩු දිනයක් වුවද රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදී සිටිනවා.