චීනයේ සිව් දින රාජ්‍ය සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්‍රීයේ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ජනාධිපතිවරයා සමග එම සංචාරයට අමාත්‍ය විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියා.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදු කළ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම රාජ්‍ය සංචාරයට එක් වුණා.
එහිදී චීන ජනාධිපතිවරයා ඇතුළු එරට පාර්ශව රැසක් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වුවා.
චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර හමුවක් සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබෙනවා.
සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.