Wednesday, January 22, 2025

General line - 0115112241

සටන් විරාමයෙන් පලස්තීන සිරකරුවන් 90ක් නිදහස් කෙරේ




ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර තිබෙනවා. 

ඒ අතර කාන්තාවන් 69 දෙනෙකු ද වන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එරට වේලාවෙන් අලුයම 01.00ට පමණ නිදහස් කළ එම පලස්තීන සිරකරුවන් 90 දෙනා රැගත් රතු කුරුස බස් රථ බටහිර ඉවුරේ රමල්ලා වෙත පැමිණ තිබෙනවා. 

නිදහස් වූ පලස්තීන සිරකරුවන් පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්වී ඇති අතර ඊශ්‍රායල හමුදා විසින් සැමරුම්වලට ඉඩ නොදෙන බවට සිදුකල අනතුරු ඇඟවීම් ද  නොතකා දහස් ගණන් ජනතාව විසින් ඔවුන් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

2023 වසරේ නොවැම්බර් මාසයෙන් පසු හමාස් සහ ඊශ්‍රායලය අතර සිරකරුවන් හුවමාරුව සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
 

මේ අතර හමාස් සටන්කාමීන් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා. 

ඊට අමතරව හමාස් සටන්කාමීන් භාරයේ සිටින ඊශ්‍රායල සිරකරුවන් 33 දෙනෙකු ද ඉදිරි දින 42 තුළ නිදහස් වනු ඇති. 

සටන් විරාම සාකච්ඡාවල දෙවන අදියර සති දෙකකින් ආරම්භ වීමට නියමිතයි. 

කෙසේවෙතත්, ආරම්භක අදියරෙන් පසුව ගැටුම් යළි ආරම්භ වන්නේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

සටන් විරාම ගිවිසුම ඇරඹීමෙන් පසුව මානුෂීය සංවිධාන  මානුෂීය ආධාර වේගවත් කර තිබෙනවා. 

ඒ අනුව මනුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 630 කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට ඇතුළු වී ඇති බව සඳහන්.