තමන්ට සිදුකල අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ගොනු කර ඇති නඩුවට අදාල උත්තර ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය අද කල් ලබා දුන්නා.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඊට අදාළ උත්තර ලබන ජුනි මස 03 වනදා ගොනුකරන ලෙසයි එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකට අධිකරණය විසින් කල් ලබා දුන්නේ.
“ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් දළදා පෙරහැර නැවැත්වීමට කටයුතු කරනු ඇතැයි” ඉකුත් වසරේ අගෝස්තු මස 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ රැස්වීමකදී තිස්ස අත්තනායක මහතා කළ ප්‍රකාශයක් තුළින් සිය කීර්ති නාමයට හානි සිදු වූ බව පවසා අග්‍රාමාත්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.