Saturday, January 25, 2025

General line - 0115112241

තරඟ පාවා දීමට යෝජනා කළ ඉන්දීය ජාතිකයා ශ්‍රී ලංකාවෙන් පලා යයි

උදය කුමාර




කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. 

ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජන්ඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඔහු ඇපමත මුදා හැර සිටියා. 

ඒ අනුව විත්තිකරු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රටින් පළා ගොස් ඇති බවයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී ඇත්තේ. විත්තිකරු පදිංචිවී සිටින බවට අවසන් වශයෙන් අධිකරණයට ලබාදුන් ලිපිනයේ පිහිටි හෝටලය වෙත ගොස් පරීක්ෂා කළ බවත් විත්තිකරු පසුගිය දෙසැම්බර් මස 31 වන දා දක්වා එහි රැඳී සිට ඇති බව අනාවරණය වූ බවත් මෝසමේ සඳහන් වනවා.

අදාළ  හෝටලයේ නවාතැන් ගැනීම සඳහා විත්තිකරු විසින් මේ මස 06 වනදා දක්වා කාමර පහසුකම් වෙන්කරගෙන තිබුණද පසුගිය දෙසැම්බර් මස 31 වනදායින් පසුව ඔහු හෝටලයට පැමිණ නොමැති බව විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවද එම මෝසමෙන් පෙන්වා දී තිබෙනවා.
 

මෙම නඩුව මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී එම විත්තිකරුට ඇප තැබූ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
 

අධිකරණය මගහැර සිටින විත්තිකරු වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඇපකරුවන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවොත් ඇප මුදල් දඩයක් ලෙස අය කර ගැනීමට සිදුවන බවත් අනතුරු අඟවා සිටියා.
 

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන මස 30 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
 

මෙම විත්තිකරුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර  ඔහුගේ  විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබුවා.
 

2024 වසරේ ජනවාරි මස මහනුවර පල්ලෙකැලේ පැවති ලේජන්ඩ් ට්‍රෝෆි  ක්‍රිකට් තරගාවලියේදී උපුල් තරංග සහ නවසීලන්ත ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින්  විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.