Sunday, January 12, 2025

General line - 0115112241

උතුරට බුදු පිළිම එපා – සිංහල ජනාවාසත් එපා : ‘දෙමළ ජනතාවනි නැගිටිව්‘




‘දෙමළ ජනතාවනි නැගිටිව්‘ හෙවත් එළුග තමිල් විරෝධතා වැඩසටහන් උතුරේ ස්ථාන කිහිපයක අද පැවැත්වෙනවා.

ඒ උතුරේ අලුතෙන් සිංහල ජනාවාස ඉදිකිරීමට විරුද්ධව සහ උතුරේ බෞද්ධයන් නොමැති ස්ථාන වල බුදු පිළිම හා බුදුමැදුරු ඉදිකිරීමට විරුද්ධවයි.

උතුරු පළාත් මහඇමති සිවී විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ මහජන සභාව නැමැති සංවිධානය අදාළ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම,ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කරගැනීමද මෙම විරෝධතා ව්‍යාපාරයේ සටන් පාඨ වී ඇති බවයි ඔහු පැවසුවේ.

උතුරේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට නෙත් නිවුස් විශේෂ කණ්ඩායමක් ඉකුත් දා එහි සංචාරයක ද නිරත වුණා. ඔවුන් එහිදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද හමුවූ අතර අද පැවැත්වෙන එළුග තමිල් විරෝධතා වැඩසටහන සම්බන්ධයෙන් ඔහුගෙන් ද ප්‍රශ්න කළා.ඔහු එහිදී පැවසුවේ අවිහිංසාවාදීව තමන්ගේ ප්‍රකාශයන් මතයන් ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවය.

කෙසේ වෙතත් කිසියම් නොසන්සුන්තාවක් ඇති වුවහොත් එය සමනය කිරීම සඳහා පොලිසිය සහ යුද හමුදාව සූදානමින් සිටින බවද මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියා.උතුරේ සහ නැගෙනහිර දැන් පවතින්නේ සිවිල් පරිපාලනයක් බව ද මෙහිදී අවධාරණය කෙරුණා.