ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (07) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණා.
එහිදි සිය අයහපත් සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා.
ඊට අනුමැතිය ලැබීමෙන් පසුව ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.
“ජනාධිපතිවරයාම ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබෙනවා, ‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි ඒවා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව හැසිරෙනවා‘ කියලා. රටේ ජනාධිපතිවරයාම එහෙම හඳුන්වන FCID එකට තමයි මම අද ඇවිත් තිබෙන්නේ. මේ ආයතනයට මේ වන විට මාව හත්අට වතාවක් කැඳවා තිබෙනවා. මගෙන් අහන්න ප්‍රශ්න 160ක් පමණ ලියපු කොළයක් මෙතැන තිබෙනවා. ‘ ඒ ප්‍රශ්න ටික අහලා ඉවර වෙනකොට කොපමණ කාලයක් ගතවේවිද?’ කියන එක මට හිතාගන්න බැහැ.
මේ ආණ්ඩුව දකුණු ආසියාවේ ලොකුම හොරකම කරපු ආණ්ඩුවයි. මේ රටේ මහ බැංකුව මහදවල් සොරාකාපු මහ මොලකරු සහ ඒ වැඬේට යොදා ගත්තු අනෙක් හොරු ටික නිදැල්ලේ ඉන්නවා. ඒ කිසි කෙනෙකුට විරුද්ධව මෙතෙක් කිසිඳු නීතියක් ක්‍රියාත්මක වී නැහැ. එසේ තිබියදී අද මේ රට විනාශ කරන ආණ්ඩුවට එරෙහිව හඬ නඟන දේශපාලන බලවේග පමණක් පොඩිපට්ටම් කරන්න මේ FCID වැනි ආයතන පාවිච්චි කරනවා”.
එහිදි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
ප්රශ්නය : මහ මොලකරු ගැන පමණක් කතා කරන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ සමාගම ගැන කථා කරන්නේ නැද්ද?
පිළිතුර : ඒ හොරකම කළේ මහ මොලකරුගේ උදව්වෙන්. මහ මොලකරු උදව් නොකළා නම් අර්ජුන මහේන්ද්‍රන්ට මේ හොරකම කරන්නත් බැහැ, බෑණාගේ සමාගමට මේ අයුතු ලාභය ලබා ගන්නත් බැහැ. එවැනි චෞර මහ මොලකරුවකු රටේ අගමැති වෙලා ඉන්නකොට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි බහුභූත ආයතනවලින් දේශපාලන දඩයමක් සිදුකර ගෙන යනවා.
ප්රශ්නය :මේ තත්වය දිගින් දිගටම වෙනවා. ඊට එරෙහිව ඔබතුමන්ලා යම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද?
පිළිතුර : දිගින් දිගටම මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන බලවේග මර්දනය කිරීම මහජනයා කොතෙක් කාලයක් ඉවසයිද? ඒ නිසා අපි විශ්වාස කරනවා, මේ ආයතන සතු බලය ජනතාව විසින් ආපස්සට හරවන දිනය වැඩි ඈතක නොවෙයි කියලා.
ප්රශ්නය : මැතිවරණයක් ළඟපාතක නැහැ. ඔබතුමා බලය අනෙක් පැත්ත හරවන බව කියන්නේ කොහොමද ?
පිළිතුර : මැතිවරණ නැති වුණත් මිනිස්සු පාරට බැහැලා ආණ්ඩු ගෙදර යවපු අවස්ථා ලෝක ඉතිහාසය පුරාම දැකගන්න පුළුවන්. මේ ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවට ‘ආරාධනා‘ කරන්නේ ‘ලක්ෂ ගණනින් පාරට බැහැලා, කොළඹ දවස් ගණන් වටකරගෙන ඉඳලා, මේ බංකොළොත් ආණ්ඩුව ගෙදර යවපල්ලා,‘ කියන එකයි. ඒ ‘ආරාධනාවට‘ ජනතාව නියම අවස්ථාවේ, නියම ප්‍රතිචාරය දක්වාවි.
ප්රශ්නය : ‘යහපාලන ආණ්ඩුව තව අවුරුදු හතරකට හොල්ලන්නවත් බැහැ‘ කියලයි ඒ අය කියන්නේ…
පිළිතුර : ‘අවුරුදු හතරකටවත් හොල්ලන්න බැහැ‘ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ හොල්ලන්න බැරි නම්. මේ අයගේ යටිහිතට දැනෙනවා ‘ ආණ්ඩුව හෙල්ලෙයි‘ කියලා. අද වන විට ඒ බිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනිලා තිබෙනවා. ඒ නිසයි ඒ අය හැම තිස්සෙම කියන්නේ ‘හොල්ලන්න බැහැ, හොල්ලන්න බැහැ‘ කියලා.
ප්රශ්නය : ඔළුගෙඩි වෙනස් කරලා ආණ්ඩුව හොල්ලන්න බැරිද?
පිළිතුර : මේ පිළිබඳව මීට කලින් හිටපු ජනාධිපතිතුමන් ප්‍රකාශයක් කළා. ඒවා නියම වෙලාවට සිදුවේවි. මේ ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරු මේ යන ක්‍රමය ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඔවුන් සූදානමින් ඉන්නවා සුදුසු අවස්ථාවේ සුදුසු තීරණ ගන්න. වෙසක් එක ආවම කට්ටිය බකට් පත්තු කරයි.