Wednesday, November 20, 2024

General line - 0115112241

ධූරයෙන් යන්න කලින් ඔබාමාගෙන් ලංකාවට තෑග්ගක්




ශ‍්‍රී ලංකාවේ වත්මන් විදේශ ප‍්‍රතිපත්තිය සියලු රටවල් සමග සුහදව කටයුතු කිරීම බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියානු සංචාරය අතරවාරයේ නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ. ශ‍්‍රී ලංකාවේ මෙම විදේශ ප‍්‍රතිපත්තිය සෙසු රටවල ඇගයීමට ලක්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

හම්බන්තොට වරාය චීනයට විකුණා ඇතැයි කෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද අමාත්‍ය මංගල සමරවීර මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ ජනතාවට අද අවශ්‍ය වන්නේ ආර්ථික දියුණුව බවත් ඒ ආර්ථිකය ලබා දෙන්නේ හම්බන්තොටද චීනයද ඉන්දියාවද යන්න වැදගත් නොවන බවයි.

ශ‍්‍රී ලංකාවට ළඟදීම ලැබෙන තවත් අමෙරිකානු ආධාරයක් පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර මෙම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණ කළා.

එහිදී ඔහු පැවසුවේ “බරක් ඔබාමා ධූරයෙන් යන්න කළින් මේක ලංකාවට ලැබෙන තෑග්ගක්. ඊයේ අමෙරිකාව යළි වතාවක් ප්‍රකාශ කළා ලංකාවට මිලේනියම් චැලේන්ජ් කම්පැක්ට් එක ලබා දෙනවයි කියලා. එතන ඩොලර් මිලියන 500 කට වැඩිය මුදලක් තියෙනවා. මේක ණයක් නෙමෙයි. මේක ආධාරයක්. රාජපක්ෂ පාලන සමයේ අමෙරිකාව විසින් ඒක සම්පූර්ණයෙන්ම අවලංගු කරලයි තිබුණේ.” යනුවෙනි.