Sunday, December 29, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයට ත්‍රස්තවාදියා ආ හැටි CCTV කැමරාවක (VIDEO)




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (22) සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු  පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ආරක්ෂක අංශවල ප‍්‍රතිප‍්‍රහාර හමුවේ ඒ සඳහා පැමිණි ත‍්‍රස්තවාදියා ද මියගොස් ඇති බවයි නෙත් නිවුස් ලන්ඩන් නුවර වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ.  

එරට වේලාවෙන් ඊයේ දහවල් 2.30 ට පමණ මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා. එරට පාර්ලිමේන්තුව අසළ තේම්ස් නදිය හරහා ඇති වෙස්මිනිස්ටර් පාලමේ මෙලෙස ත්‍රස්තවාදියෙකු විසින් වේගයෙන් මෝටර් රථයක් පාදවාගෙන පැමිණ තිබෙනවා. එහිදී ත්‍රස්තවාදියා විසින් මෝටර් රථයෙන් පිරිසක් අනතුරට ලක් කරමින් පාර්ලිමෙන්තු චතුරශ්‍රයේ ගේට්ටුවේ රථය හප්පා තිබෙනවා.

පසුව ඔහු රථයෙන් පිටතට පැමිණි පොලිස් ආරක්ෂක නිලධාරියෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. එහිදී ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් ත්‍රස්තවාදියා එම ස්ථානයේදීම මිය ගියා.

සිද්ධියෙන් 20 කට අධික පිරිසක් මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද රැස්ව සිට තිබෙනවා.  

මේ වනවිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සහ ඒ අවට ප‍්‍රදේශවලට කිසිඳු පුද්ගලයෙකුට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම්වල ද නිරත වන බවයි නෙත් නිවුස් ලන්ඩන් නුවර වාර්තාකරු ජනක අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේ.  





 

------------------------------------------------------

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී ප්‍රහාරයක් (VIDEO)

(22-03-2017 20:48)

 

 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයක් සිදුව තිබෙනවා.

විදෙස් පුවත් සේවා මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේ කිසියම් පුද්ගලයෙකු විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී පොලිස් නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. 

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියා කැපුම් තුවාල ලබා ඇති බවත් සඳහන්. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බවද තවදුරටත් වෙඩි තැබීමේ ශබ්ද කිහිපයක් ඇසුනු බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.