Wednesday, January 1, 2025

General line - 0115112241

පාද යාත‍්‍රාවට එරෙහිව වාරණ ඉල්ලීම් කිහිපයක් අදත් ප‍්‍රතික්ෂේප කෙරේ




ජන සටන පාද යාත‍්‍රාව සහ එම පාද යාත‍්‍රාව පැමිණෙන මාර්ගයේ වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් සංවිධාන කර ඇති කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් අදත් අධිකරණ කිහිපයක් නියෝග නිකුත් කළා.

පොලිසිය තුල්හිරිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජන සටන පාද යාත‍්‍රාව වරකාපොළ ප‍්‍රදේශයට ඇතුළු වීම වළක්වාලන ලෙසයි.

වරකාපොළ නගරයේම එක්සත් ජාතික පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් ද සංවිධාන කර තිබීම ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් තහනම් නියෝගයක් නිකුත් කිරීම තුල්හිරිය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කෙරුණු බවයි ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන් පවසන්නේ.

ජන සටන පාද යාත‍්‍රාව කඩවත සහ කිරිබත්ගොඩ යන නගරවලට ඇතුළු වීම වළක්වන්නැයි පොලිසිය මහර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙතත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවන පරිදි පාද යාත‍්‍රාව සංවිධාන කළ යුතු බවද මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය පැවසුවේ පොලිස් ආඥා පනත අනුව සාමය රැකීමට පොලිසියට බලය තිබෙන බවයි.

එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට අයිතියක් තිබෙන බවද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය පෙන්වා දුන්නා.

ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම මෙහිදී ද ප‍්‍රතික්ෂේප වූ බවයි ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන් කියා සිටියේ.

ජන සටන පාද යාත‍්‍රාවට එරෙහිව පොලිසිය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ද අද (29) ඉල්ලීමක් කළා. මහේස්ත‍්‍රාත් අධිකරණය එහිදී කියා සිටියේ ජනතාවට අවහිර නොවන පරිදි පාද යාත‍්‍රාව එක් මංතීරුවක පමණක් ගමන් කළ යුතු බවයි.

ජන සටන පාද යාත‍්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කරන මාර්ගයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කර ඇති ප‍්‍රවර්ධන වැඩසටහන් දෙකක් නියම කර ඇති වේලාවට වඩා කලින් හෝ පසුව ආරම්භ කරන්නැයි ද මෙහිදී නියෝග කෙරුණා.

රතුපස්වල ප‍්‍රදේශයේ උද්ඝෝෂණයකට 2013දී කෙරුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් අනිද්දා සංවිධාන කර ඇති උද්ඝෝෂණයක් එදින නොපවත්වන ලෙසයි නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.