Saturday, February 22, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක්



පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන රණවිරු දින සැමරුම් උත්සවය හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

එම සැමරුම් උත්සවය හේතුවෙන් පස්වරු 03 සිට පොල්දූව හන්දියෙන් සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙනවා.

එම මාර්ගය වසා තැබෙන කාලය තුළ රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථ වාහන පොල්දූව හංදියෙන් බත්තරමුල්ල හංදිය දක්වා පැමිණ දකුණට හැරී පාලම්තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම ඇතුල්කෝට්ටේ මාර්ගය ඔස්සේ පිටකෝට්ටේ හංදියෙන් වමට හැරී කිඹුලාවල, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ද ගමන් කළ හැකියි. 

පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කරන රථ වාහන තලවතුගොඩ, පැලවත්ත, පාලම්තුන හංදිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.

තලවතුගොඩ, කිඹුලාව, පිටකෝට්ටේ හංදියෙන් ඇතුල්කෝට්ට මාර්ගය ඔස්සේ ද රාජගිරිය දක්වා ගමන් කළ හැකියි.

රාජගිරිය දෙස සිට මාලඹේ දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන අද පස්වරු 03 සිට පොල්දූව හංදිය, බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන හරහා මාලඹේ දක්වා ගමන් කළ හැකියි. 

එමෙන්ම මාලඹේ සිට රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිත රථ වාහන තලාහේන, කොස්වත්ත, බත්තරමුල්ල, පොල්දූව හංදිය හරහා රාජගිරිය දක්වාද සාමාන්‍ය පරිදි ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

වසා තැබෙන මංතීරු පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවය අවසන් වූ වහාම රථාවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.