Tuesday, March 25, 2025

General line - 0115112241

අමාත්‍ය විජයදාසටැබ් එරෙහි නඩු විභාගයේදී උණුසුම තත්වයක්

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝග නිකුත් කළා.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝග නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

ඉකුත් 12 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කරගෙන තිබුණා.

එම පත්කිරීම් ශ්‍රී ලංකාව නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විජයදාස රාජපක්ෂ සහ කීර්ති උඩවත්ත එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ශවයක වැඩබලන ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. 

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කොළඹ දිසා අධිකරණ කලාපයේ පදිංචිකරුවන් බවට තහවුරු කර නොමැති නිසා සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකර පාර්ශවයට දිසා විනිසුරුවරයා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා අවසර ලබා දුන්නා. 

ඒ අනුව පැමිල්ලිකාර දුමින්ද දිසානායකගේ නීතිඥවරුන් එදිනම අදාළ පැමිණිල්ල සංශෝධනය කර  අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අද දින සලකා බැලීම සඳහා අධිකරණය විසින් එදින නියම කරනු ලැබුවා. 

ඒ අනුව අදාළ පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වූවා.


එම අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව පැමිණිලිකරු සිය පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා දැනට ඉදිරිපත් වී ඇති කරුණු මත නියෝගයක්  ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පාර්ශවයේ නීතිඥවරුන් තම පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කිරීම  සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව විනිසුරුවරයාට පෙන්වා දුන්නා.

මෙම කරුණට අදාළව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් මෙවැනි නියෝගයක් නිකුත් නොකරන ලෙසත් එම නීතිඥවරු තරයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක  ඊට අදාළව ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන පැමිණිල්ලෙන් ආයාචනය කර තිබෙන වාරණ නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි.

එම අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ශවය නීතිඥවරුන් හා  පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ තනතුරුවලට පත්කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් බැලූ බැල්මටම ගැටලුවක් මතුවන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම වළක්වාලමින් දැනටමත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි සිහිපත් කළ විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් වී මාසයකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ඒ පිළිබඳව කිසිවකු අභියෝගයක් කර නොමැති බව සඳහන් කර සිටියා.

ඒ අනුව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා එම වාරණ නියෝග ජුනි මස 03 වනදා දක්වා බල පැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් කළා.