Saturday, March 1, 2025

General line - 0115112241

හිරුණිකාට බන්ධනාගාර රෝහල අහිමි වෙයි



සිරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රෝහල්ගත කිරීමේ සූදානමක් ඇත්දැයි මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එමෙන්ම ඒ පිළිබඳ සමාජ මාධ්‍ය හරහාද විවිධ අදහස් පළ වනවා. එවන් පසුබිමක් තුළ නෙත් නිවුස් මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළා.

එහිදී අනාවරණ වූයේ බන්ධනාගාරගත වන කාන්තාවන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර රෝහල් වෙත යොමු නොකරන බවයි.

ඒ, කාන්තාවන්ට එම රෝහල්වල වෙනම වාට්ටු ස්ථාපිත කර නොමැති වීම හේතුවෙන්.

යම් හෙයකින් නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතු බන්ධනාගාරගත වන කාන්තාවන් ඇතුළත් කිරීමට සිදු වන්නේ රජයේ රෝහල් වෙතයි.

කෙසේවෙතත් බන්ධනාගාර වෛද්‍යවරුන් කාන්තා බන්ධනාගාර වෙත ගොස් එහි රඳවා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කරනු ලබනවා.

සුළු රෝගී තත්ත්වයක් නම් ඊට අදාළ ඖෂධද එහිදී නිකුත් කෙරෙනවා.

කාන්තාවන් බන්ධනාගාර රෝහල් වෙත රැගෙන යනු ලබන්නේ සායනික කටයුතු සඳහා පමණක් බවද නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණා. 

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

ඒ අනුව ඇය මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ‘ආර්’ වාට්ටුවේයි. බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඊයේ දිනයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා.