බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා, කොළඹ මහාධිකරණය හමුවේ අද දැනුම් දුන්නා.
ඒ, මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන්නේදැයි විමසා සිටියා.
ඒ අනුව රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවයි.
එම විරෝධතා ලිඛිතව ගොනු කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දැනුම් දුන්නා.
මෙම නඩුව මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වෙනත් නඩු විභාගයක් සඳහා ගම්පහ මහාධිකරණයට ගොස් සිටින බැවින් එම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා, මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසයි නියෝග කර ඇත්තේ.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන යාම ඇතුළු චෝදනා 18කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහා අධිකරණය විසින් ඉකුත්දා බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණයට ද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන්ව ඇපමත මුදා හරින ලෙස ඉල්ලමින් ඇය වෙනුවෙන් ඇයගේ නීතිඥවරු මහාධිකරණය වෙත මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කළා.