Friday, April 25, 2025

General line - 0115112241

අනුරගේ ප්‍රකාශයක් ගැන රනිල් කතා කරයි



ජනාධිපතිවරයා රජයේ සේවකයන්ට තර්ජනය කර තිබෙන අයුරු තමා දුටු බවත් තමන්ගේ හිතේ තියෙන දේ තැපැල් ඡන්දෙට කලින් ජනාධිපතිවරයා ප්‍රකාශ  කිරීම ගැන තමා ස්තුති වන්ත වන බවත් හිටපු අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පළාත් පාලන නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ මෙවැන්නක්.

" අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා.

ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා.

ඔවුන් සමග කතා කොට සත්‍ය තත්වය පහදා දෙන්න උත්සාහ කරන්න.

මේ රටේ ඡන්ද දායකයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ආර්ථිකය කඩා වැටීමේදී ජනතාවට විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා.

නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබුණේ නැහැ.

දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා.

ගමට ගිහින් මගේ ගැනවත්, චන්ද්‍රිකා ගැනවත්, මහින්ද ගැනවත් ,ගෝඨාභය ගැනවත් සිරිසේන ගැනවත් කතා කරන්න එපා.

ඡන්දෙ තියෙන්නේ අපි සම්බන්ධව නොවේ.

ආණ්ඩුව මේ මාස හයේ කළේ කුමක්ද?

මම රට බාරගෙන පෝලිම් නැති කළා.මූල්‍ය අරමුදලේ මුදල් අරගෙන දුන්නා.

දැන් මේ අය කරන්නේ මොකක්ද?

මේ පාරත් මාලිමාව දිනනවා යැයි සමහර අය කියනවා.

ඡන්දෙ දෙන්නෙ නැතිනම් මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිතුමා කිව්වා.

මේ වගේ කතා කියන්නේ පරදිනකොට නේද?

දිනන්න ඉන්නවා නම් කියන්නේ ඔබ දුන්න වරම තවත් ශක්තිමත් කරන්න කියලයි.

දැන් ඔබලා අපිට ඡන්දෙ දුන්නෙ නැත්නම් සල්ලි දෙන්නේ නෑ කියනවා.

ඡන්දෙ දුන්නත් දෙන්න සල්ලි තියෙනවාද කියා මම අහනවා.

දැන් අනුමත කර තිබෙන සල්ලි හැර වෙන තියෙන්නේ මොනවද?
මම අහන්නේ ඒකයි.

ජනාධිපතිවරයා රජයේ සේවකයන්ට තර්ජනය කර තිබෙන අයුරු මා දුටුවා.රජයේ සේවකයන් මාරු කරනවා යැයි ඔහු කියා තිබුණා. 

තමන්ගේ හිතේ තියෙන දේ තැපැල් ඡන්දෙට කලින් ජනාධිපතිවරයා කියපු එක ගැන මම ස්තුති වන්ත වෙනවා. 

මැයි තිස් වෙනිදායින් පස්සේ වැඩේ දෙනවා කියලයි ඔහු කියා තිබුණේ.

රජයේ සේවකයන්ට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව තිබෙනවා.ඒ අය ස්වාධීනව වැඩ කටයුතු කළ යුතුයි.ජේ.වී.පී එක කියන හැටියට ඔවුන්ට වැඩ කරන්න බෑ.ඒගොල්ලන්ගේ තියෙන වැරැද්ද මොකක්ද? මම ආණ්ඩුව බාරගත්තේ මේ රජයේ සේවකයන් සමග තමයි.

මම වැටෙන්න තියෙන ආණ්ඩුවක් බාරගෙන අනෙක් පැත්තට හැරෙව්වා.ආපහු බාර දුන්නේ ස්ථිර රටක් හදලා.ඒ රාජ්‍ය සේවකයන් මා සමග හොඳින් වැඩ කළා.යූඑන්පී,ජේ.වී.පී,පොහොට්ටු  ඔක්කොම අය එහි සිටියා.ඒත් සමස්තයක් ලෙස ඔවුන් යොදාගෙන ඔබට සහනයක් ලබා දෙන්න මට පුළුවන් වුණා.

මම ඒ කාර්යභාරය තනියම කළේ නෑ.ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ මහවැලිය හැදුවා. විවිධ දැවැන්ත ව්‍යාපෘති කළා.චන්ද්‍රිකා මැතිනියගේ කාලයේත් යුද්ධය තිබියදීත් කොහොම හරි අල්ලගෙන ගෙනිච්චා.

මහින්ද රාජපක්ෂගේ කාලෙත් මාර්ග හදන්න විවිධ ව්‍යාපෘති වලට රජයේ සේවකයන් උදව්  කළා.යහපාලන සමයේත් එහෙමයි. ඒ අය තමයි රට ගෙනයන්න උදව් කළේ. 

එදා බණ්ඩාරනායක මැතිනියගේ සමයේ දවස් දෙකක් බත් කන්නේ නැති ප්‍රතිපත්තිය ගෙනාවත් අප යටතේ රට සහලින් ස්වයංපෝෂිත කළා.

මේ රජයේ සේවකයන්ට තර්ජනය කරන්නේ ඇයි? මේ අයගෙන් වැඩ ගන්න දැනගන්න ඕන.

ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති තිබෙනවා නම් රජයේ සේවකයත් සාර්ථක වෙනවා. රජයේ සේවය අසාර්ථක වනවා නම් ඒ ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති නොමැතිකමයි.

දැන් රජයේ සේවකයන්ට බනින්නේ  ඇයි? තමන් මේ මාස හයේ සාර්ථකද කියලා බලන්න.

උඹල අපි එක්ක වැඩ කළේ නැතිනම් සල්ලි දෙන්නේ නැහැ කියමින් තර්ජනය කරනවා. 

ආණ්ඩුව හොරු අල්ලන්න නඩු දැම්මලු.ඒ අලුත් නීතිය ගෙනාවේ කවුද?2023දී දූෂණ විරෝධී නීතිය ගෙනාවේ කවුද?

විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා ඒ නීතිය සකස් කළා.මූල්‍ය අරමුදලට ඇවිත් මේ අලුත් ක්‍රමවේදයක් හදලා දෙන්න කිව්වේ කවුද?

ජාතික දූෂණ විරෝධී සැලැස්ම හදල තියෙන්නේ ඒ අනුව තමයි.

අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ කෙටුම්පත හැදුවේ කවුද?දෙසැම්බර් මාසේ සම්මත කරන්න අප පොරොන්දු වුණාා.මේ අය ඔක්කොම කරන්නේ මම කරපු දේවල්ම තමයි. ප්‍රතිඵල එන්න මේ අවුරුද්දේ අවසානය වෙනවා.

අස්වැසුම දෙන්න ලක්ෂ හතරක් ඉතිරි වුණා.ගිය වසරේ මුදල් දෙන්න හදන විට ඡන්දය ආවා.රජයේ සේවය ඡන්ද කටයුතු වලට යොදවන්න තිබුණා.

මේ වසරේ පළමු මාස තුනේ ඒක කරනවා කියල අප පොරොන්දු වුණා.තාම ඒක කරලා නෑ. 

දැන් ඒ ලක්ෂ හතර අලුතින් දෙනවා කියලා කතා කරලා තිබුණා. 

මම කරපු දේ සිදුකොට රජයේ සේවකයන් ප්‍රතිඵල ලබා දුන්නා නම් , අනුර දිසානායක ජනාධිපතිතුමාගේ කාලේ එය කරන්න බැරි නම් පළි කවුද?රජයේ සේවකයද? ජනාධිපතිවරයාද?

ගමේ ඉස්කෝලේ ගිහින් බලන්න.පාරවල් බලන්න.ඒ කාගේ සංවර්ධන ව්‍යාපෘති ද?

වික්ටෝරියා ජලාශය හැදුවේ කීර්ති ශ්‍රී රාජසිංහ කියා මාලිමාවේ මන්ත්‍රීවරයෙක් පසුගියදා ප්‍රකාශ කරන අයුරු මා දුටුවා.රන්දෙණිගල හැදුවේ රාජාධි රාජසිංහ බවත් ඔහු ප්‍රකාශ කළා.රන්ටැඹේ හැදුවේ ශ්‍රී වික්‍රම රාජසිංහලු.පස්සේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ජලාශයට වික්ටෝරියා කියලා නම දැම්මලු.බ්‍රවුන්රිග්  ආණ්ඩුකාරයා ඉන්න කාලේ වික්ටෝරියා රැජිණ ඉපදිලා වත් නැතුව ඇති.

ඉතින් ඔහොම මිනිස්සු එක්ක වැඩ කරන්නේ කොහොමද?

මහනුවර  දිස්ත්‍රික්කය දියුණු වුණේ ජේ.ආර් ජයවර්ධන, ගාමිණී දිසානායක මෙන්ම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නිවාස ක්‍රමය ආදිය නිසයි.
මාලිමාව ගමට කරපු වැඩ කටයුතු තුනක් පවසන්න.අලුතින් ගමට එන අපේක්ෂකයගෙන් එහෙම අහන්න.

මේ අය ගැන විශ්වාසයක් නැහැ.

ඇමරිකාවේ තීරු බදු වලින් අප නිදහස් කොට ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබුණා.චීනය, ඉන්දියාව වැනි රටවල්වත් ඒ ගැන සාකච්ඡා තවම ඉවර කර නැහැ.

අපට යම් එකඟතාවයකට එන්න පුළුවන් වුනා නම් හොඳයි.එතුමන්ලා සාකච්ඡා කොට සීයට දහයේ තීරු බද්දත් ඉවත් කර ගත්තා නම් සියයට 44 බද්දත් ඉවත්  කර ගත්තා නම් මුළු රටම ප්‍රශංසා කළ යුතුයි.ඒත් කළේ මොකක්ද කියලා අපට කියන්න.

ඇඟලුම් කර්මාන්තය ගෙනාවෙත් අපි.ඒත් වෘත්තීය සමිති සමඟවත්, සේවකයන් සමඟවත් කතා කර නැහැ.

මම ආර්ථිකය සියයට පහකට බාර දීලා ගියේ.දැන් 3.9 කට බැහැලා.මේ අර්බුදය  නිසා තව වැටුනොත් 3.5 ක් බවට පත්වෙනවා.ආපහු විදුලි බල ගාස්තු වැඩි කරන්න මූල්‍ය අරමුදල එකඟ වුණා.වියදමට සරිලන විදියට වැඩි කරනවාලු.