Monday, March 3, 2025

General line - 0115112241

ජනපතිවරණය කල් දැමීමට එරෙහි සියලු උත්සහයන් පරාජය කරන බව විපක්ෂය කියයි



ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවට අවස්ථාවක් හිමි නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට සිදු වන බවයි නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ගොවි සමුළුව අමතමින් ඔහු කියා සිටියේ. 

මේ අතර මැතිවරණය කල් දැමීමේ උත්සාහයන් පරාජය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා පුළුල් ජන බලයක් ගොඩනඟන බවයි.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම්  කිහිපයක් ඉදිරිපත් වුණා.  

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී ඩී ලෙනව විසින් පෙත්සම ගොනු කර තිබුණා. 

ඊට එරෙහිව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික   ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින්.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර කෙටි කාලයක් තුළ ජනතාව රජය කෙරෙහි විශ්වාසයක්  තබා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසුවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බවයි  ඔහු කියා සිටියේ.