Tuesday, March 4, 2025

General line - 0115112241

ජනපතිගේ ධූර කාලය වසර පහයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

 උදය කුමාර



වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කළා.

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය එහිදී සඳහන් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජාගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවෙනවා.

මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ චතුර ගල්හේන විසින්.

මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතරමැදි පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මීට පෙර ද තවත් අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කෙරුණා.