Tuesday, March 4, 2025

General line - 0115112241

ළමුන්ගේ ඇතැම් වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදාහරින්නන්ට එරෙහිව නීති නැතිවෙයි



දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් හා උපාංග සොරකම් කිරීමට ආදාළ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පටය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසට අදාළ අංශ වෙත දැනුම්දුන් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර් උදය කුමාර අමරසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අදාළ වීඩියෝ පටයේ කුඩා ළමයෙකු සිටීම හේතුවෙන් එම වීඩියෝ පටය ඉවත් කරන ලෙසට එලෙස උපදෙස් ලබාදුන් බවයි.

කාන්තාවන් දෙදෙනෙකු කුඩා දරුවෙක් ද සමග එම ජංගම දුරකථන අලෙවිසැලට ගොස් දුරකථනයක් සහ උපාංග සොරාගෙන තිබුණා.

එම කුඩා දරුවාගේ රුව සහිත වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.


යම් අපරාධයකට අදාළව දරුවෙකු, වින්දිතයෙකු හෝ සැකකරුවෙකු වුවද ඔහුගේ රුව සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීමට කටයුතු කිරීම සදාචාර විරෝධී කටයුත්තක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


කෙසේවෙතත් මෙලෙස ජංගම දුරකථන සොරකමට අදාළ කුඩා දරුවාගේ රුව සහිත වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහල පුද්ගලයාට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කිරීමට අපහැදිලිතාවයක් ඇති බවද ඔහු කියා සිටියා.  

ඒ අනුව කුමන හෝ චෝදනාවකට අදාළව දරුවෙකුගේ රුව අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට කඩිනමින් නීති සකස් විය යුතු බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර් උදය කුමාර අමරසිංහ වැඩිදුරටත් පැවසුවේ.