Tuesday, March 4, 2025

General line - 0115112241

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී පොලිස් නිලධාරීයෙකුට තවත් රැදවියෙකු කල පහරදීමේ හේතුව එළියට



අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට පසුගියදා බන්ධනාගාර ගත කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්නැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාර මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් එලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වුණේ.

එම එක් පොලිස් නිලධාරීයෙකුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු විසින්  පසුගිය 10 වනදා තුවාල සිදුකර තිබුණා.

එදින පස්වරු 5 ට පමණ සැකකරුවන් වාට්ටු වෙත යොමු කිරීමේ දී සැකකාර රැඳවියා විසින් එම පොලිස් නිලධාරීයාට කුඩා උල් ආයුධයක් වැනි දෙයකින් මුහුණට තුවාල සිදු කර තිබු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

තුවාල ලැබු එම නිලධාරියා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ මුඛය ආසන්න ප්‍රදේශයේ මැහුම් 8 ක් යොදා ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කරන තෙක් තුවාල ලැබු නිලධාරීයා වැලිකඩ බන්ධනාගාර රෝහල්ම රඳවා තැබීමටයි තීරණය වි ඇත්තේ.

එම පොලිස් නිලධාරීයාට පහර දුන්නේ කවුරුන්ද යන්න  සහ පහර දීමට හේතුව කුමක් දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

එහිදී අනාවරණ වුණේ බන්ධනාගාර ගත කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් එලෙස පහර දී ඇති  බවයි. 

අවස්ථා දෙකක දී අදාළ පොලිස් නිලධාරීයා විසින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් බන්ධනාගාරගතව සිටින අදාළ රැඳවියා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීම හේතුවෙන් එලෙස පහර දී ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ.

පහර දුන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.