2015 වසරේ කොළඹ හෙට්ටි වීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2015 වසරේ ජූලි මස 29 වනදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්ම රාජා කාර්තිකා නමැති කාන්තාවක් මරා ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂනරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළා.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.
කෙසේ වෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.