Thursday, April 24, 2025

General line - 0115112241

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමග සිටින බව අරාබි රටවල් කියයි



ඉන්දියාවේ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව අරාබි ලෝකයේ රටවල් එකමුතු වී සිටින අතර ත්‍රස්තවාදී ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක තිබේ.

කුවේට්හි ඔටුන්න හිමි කුමරු, Sabah Khaled Al-Hamad Al-Sabah ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු වෙත ශෝකය ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ පහල්ගම් හි සංචාරකයින් ඉලක්ක කර ගත් ත්‍රස්ත ප්‍රහාරයකින් සිදු වූ ඛේදජනක ජීවිත හානිය හෙලා දකින බව සහ කණගාටුව පළ කරන බවයි.

විපතට පත් වූවන් පිළිබඳව ඔටුන්න හිමි කුමරු සිය ශෝකය පළ කරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේ විදේශ අමාත්‍යාංශය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ,

එහි දැක්වෙන්නේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය, අන්තවාදය සහ සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රාජධානිය සිය ස්ථිර ස්ථාවරය තහවුරු කරන බවයි. 

වින්දිතයින්ගේ පවුල්වලට සහ ඉන්දීය රජයට සහ ජනතාව වෙත සවුදිය සිය අවංක ශෝකය සහ සංවේගය පළ කරන බව ද එහි සඳහන්.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය තහවුරු කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම සාපරාධී ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවයි.

ජාත්‍යන්තර නීතියට පටහැනිව ආරක්ෂාව සහ ස්ථාවරත්වයට වල කැපීමේ අරමුණින් ඇති සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ස්ථිරවම ප්‍රතික්ෂේප කළ යුතු බව ද ඔවුන් අවධාරණය කර ඇත.