මේ වන විට අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී තිබෙන විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥවරයකු වන සේනක වල්ගම්පාය විසින්. ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 27 වන දා විභාගයට ගන්නා බවත් නියම කළා.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍යය තුළ අධිකරණ බලයත් අන්තර්ගත වන බව සඳහන් කළා.
ජනතාව සතු එම පරමාධිපත්‍ය බලය ක්‍රියාවේ නැංවීමට ජනාධිපතිවරයා බැදි සිටින අතර එම ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීමට ජනාධිපතිවරයා අසමත් වන අවස්ථාවන්හිදී ඊට මැදිහත් වී අවශ්‍ය නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙන බවත් නීතිඥ වරයා සඳහන් කළා.
ඉකුත් නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අභියාචනාධිකරණය තුළ විනිසුරු පුරප්පාඩු 05 ක් පමණ පවතින බවත් එලෙස විනිසුරුවරුන් පත් නොකර සිටීමට ජනාධිපති වරයාට කිසිදු ආකාරයකින් අභිමතානුසාරී බලයක් නොමැති බවත් නීතිඥ වරයා අධිකරණය හමුවේ කියා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යව 06 කට නොඅඩු සහ 19 නොවැඩි විනිසුරුවරු සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවට දක්වා ඇති බවයි.
ඒ අනුව මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 14 දෙනෙකු සිටින අතර එය අභියාචනාධිකරණයේ සිටිය යූතු අවම විනිසුරු සංඛ්‍යව ඉක්මවා ගිය සංඛ්‍යාවක් යැයි ඇය පෙන්වා දුන්නා.
එබැවින් පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට අභියාචනාධිකරණයේ කටයුතු අකර්මණ්‍ය වීමක් සිදු නොවන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කියා සිටියේ.
මෙහිදී විනිසුරු ජනක් ද සිල්වා මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක අභියාචනාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් නොකිරීමට තීරණය කර නොමැති බව කියා සිටියා.
එම නිසා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් අභියාචනාධිකරණයේ කටයුතු අකර්මණ්‍ය වි ඇති බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් ඇය ඇය සඳහන් කළා.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එබැවින් එම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සම්බන්ධයෙන් මතුවී තිබෙන පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කිසිවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළා. තම සේවා දායකයා මෙම අවස්ථාවේදී ස්වාධීන ස්ථාවරයක් ගෙන කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය තුළ මතු ව තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතීඥ සංගමය අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ලිපි යැවූ බව කියා සිටියා. අභියාචනාධිකරණය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට නම් එහි පුරප්පාඩුව පවතින විනිසුරු ධූර පිරවීම ඉතා වැදගත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නා.
උදය කුමාර