Tuesday, March 4, 2025

General line - 0115112241

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු පස්වරුවේ



අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ අවසන් කටයුතු අද පස්වරු 5ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, බොරැල්ල කනත්තේදීයි.

මේ වනවිට ඔහුගේ දේහය තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.

ක්ලබ් වසන්තගේ දේහය එහි තැන්පත් නොකරන ලෙසට පවසමින් පසුගිය 10 වනදා එම මල් ශාලාවට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබි ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ, ක්ලබ් වසන්තගේ දේශය එම මල් ශාලාවෙන් ඉවත් කර ගන්නා ලෙසට ඔහුගේ පවුලේ ඥාතීන්ටද දැනුම් දෙන ලෙස බලකමින්.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ විදේශ රටක සිට එම ඇමතුම ලබාදී ඇති බවයි.

ඒ අනුව දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් සැපයිමට පොලීසිය කටයුතු කළා.

එවන් පසුබිමක් තුළ යළිත් වරක් එම මල් ශාලාවට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.

එම ඇමතුම දුන් පුද්ගලයා එහිදී විමසා ඇත්තේ දේහය පෞද්ගලික මල් ශාලාවෙන් ඉවත් කර ගන්නා ලෙසට කළ දැනුම්දීම  ක්ලබ් වසන්තගේ පවුලේ ඥාතීන්ට දැනුම් දුන්නේ ද යන්න පිළිබදවයි.

පසුගිය 9 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියේදී ක්ලබ් වසන්ත ඇතුළු එම ස්ථානයේ සිටි පිරිසක් තුවාල ලැබුවා. එහිදී එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනි කේ සුජීවාගේ සැමියා ජීවිතක්‍ෂයට පත් වුණා. 

එමෙන්ම කේ සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිද ඇතුළු කිහිප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි  තැබීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීම සදහා ඔත්තුව ලබාදුන් බවට ක්ලබ් වසන්තට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ක්ලබ් වසන්ත ඝාතනය කළ බවට විදෙස් රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් පවසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.