Wednesday, March 5, 2025

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා



උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට බදුල්ල බලා  ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වීම හේතුවෙන්.

එම දුම්රියේ එන්ජිමේ එක් රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් එලෙස පිලී පැනිමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ද ඊයේ දිනයේ අවලංගු කෙරුණා. කෙසේවෙතත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තවත් පැය කිහිපයක් තුළ යථාතත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්ත්වයකට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු  නොවීම කණගාටුවට කරුණක්.

විශේෂයෙන්ම ලංකාවට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් දුම්රියෙන් උඩරට ප්‍රදේශයේ අසිරිය නැරඹීමට එක්වනවා.