Friday, March 14, 2025

General line - 0115112241

පාර මැද දුම්රිය නවතා කඩේ ගිය කෙනා ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්



ප්‍රධාන මාර්ගයක් අවහිර වන ලෙස දුම්රියක් නවතා එහි එංජින් කාමරයේ සිටි අයෙකු ඉන් බැස ගොස් අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ දිනවල ප්‍රචාරය වනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ ද දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කරුණු සොයා බැලීමක් කළා.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ අදාළ සිද්ධිය වයික්කාල දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුව ඇති බවයි.

දුම්රිය එංජිමෙන් බැස ගොස් අසල තිබූ වෙළඳසැලකින් ආහාර පාර්සල් මිලදී ගෙන ඇත්තේ එම දුම්රියේ රිය සහායකවරයා බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා සඳහන් කළා.

දුම්රිය රියදුරෙකුට දුම්රියෙන් බැස යාම තහනම් වුවත් දුම්රිය රියදුරු සහායෙකුට දුම්රියෙන් බැස යාම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

වයික්කාල දුම්රිය ස්ථානය කුඩා දුම්රිය ස්ථානයක් බැවින් දුම්රියක් නතර කරන විට එම දුම්රියේ ඉදිරිපස කොටසින් අදාළ දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වන බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් එම පුද්ගලයා වෙළඳසැලට යාම තුළින් දුම්රිය ප්‍රමාදයක් සිදුව නොැමැති බවත් නියමිත වේලාවට එම දුම්රිය වයික්කාල දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් අනාවරණය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.