Wednesday, March 5, 2025

General line - 0115112241

ආර්ථිකයට වැදගත් අංශවල වර්ධනයක්



මෙරට ආර්ථිකයට බලපාන ප්‍රධාන අංශ රැසක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. 

සංචාරක ඉපයිම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යාම හේතුවෙන් මෙරට ආර්ථිකයේ විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත් වී ඇති බවයි. 

2023 වසරේ ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ මෙරටට ලැබී තිබූ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 5,400ක්. 

ඊට සාපේක්‍ෂව මේ වසරේ අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 5,962ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ.

2023 වසරේ ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ සංචාරක ඉපයීම්ද අමෙරිකානු ඩොලර් මිලියන 1,799ක් ලෙසයි වාර්තා වී තිබුණේ. 

එහෙත් මේ වසරේ අදාළ කාලය තුළ සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 2,807ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ නොවැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 277ක් වූ සේවා අංශය වෙත වූ ලැබීම් අමෙරිකානු ඩොලර් මිලියන 304ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. 

කෙසේවෙතත් 2024 වසරේ නොවැම්බර් මාසයේ වෙළඳ භාණ්ඩ ගිණුම් හිඟය ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, පෙර වසරට සාපේක්‍ෂව ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්. 

2024 වසරේ ජනවාරි සහ නොවැම්බර් කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11,670ක්. එහෙත් ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 16, 917ක්.