රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් හතලිස් දහස දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස 2025 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
මෙම වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.
ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගැනීම සඳහා මහ කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ. වාරිමාර්ග අංශයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 78,000ක් වෙන් කරන බවද ජනාධිපතිවරයා සිය අයවැය කථාවේදී සඳහන් කළා.
පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
උතුරු පොල් ත්‍රිකෝණයේ නව පොල් ඉඩම් අක්කර දහසය දහසක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.
2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් මිලියන හය ලක්ෂ හාරදහසක් දක්වා වැඩිකර තිබෙනවා.
වකුගඩු රෝගීන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටිවන් සඳහා ලබාදෙන දීමනාව වැඩි කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ගැබිනි මාතාවන් සඳහා පෝෂදායී ආහාර ලබාදීම සඳහා මාසික ආධාරයක් ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 7,500ක්.
මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන්කර තිබෙනවා.
අලුත් අවුරුදු සමයේ සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීම සඳහා ආහාර පැකේජයක් සතොස හරහා ලබාදීමට අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසක්.
සුවපහසු බස් රථ සේවාවක් ලබාදීමට නව බස් සමාගමක් හඳුන්වාදීමට ද මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති කැපී පෙනෙන යෝජනාවක්.
දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා.
ජපාන ආයෝජනවල සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙවන පර්යන්තය පුළුල් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන දසදහසකට වඩා දැනටමත් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 සිට 7,500 දක්වා වැඩිකෙරෙනු ඇති.
පර්යේෂණ, සොයාගැනීම් වාණිජකරණය කිරීමට නවෝත්පාදන නව නිපයුම් අරමුලක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන දහසක් වෙන් කිරීමට ද යෝජනා කෙරුණා.
ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කිරීමටද අයවැයෙන් ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවක්.
මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.