Monday, March 3, 2025

General line - 0115112241

වසරක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදෙස්ගත වෙයි



නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාර ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පවසනවා.

එම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී ඒ බව පැහැදිලි වන බවයි කෝප් කමිටුව අවධාරණය කළේ.

ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන්.

එහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165ක් පළමුවරට විදේශගත කිරීම හේතුවෙන් රුපියල් මිලියන හයසීයකට අධික පුහුණු ආදායමක් කාර්යංශයට අහිමි වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

රුපියල් 22,410ක ගාස්තුවක් අයකර දින 28 නේවාසික පුහුණුවක් පැවැත්විය යුතුව තිබුණ ද එම පුහුණුව ලබාදීම සිදුකර නොමැති අතර එම පුහුණුව වෙනුවට භාෂා පරිවර්තකයින් තිදෙනෙක් යොදාගනිමින් දිනකට 390 දෙනෙකු පමණ සම්මුඛ පරීක්ෂණයට ලක්කර ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.

එම සම්මුඛ පරීක්ෂණය ද වීඩියෝ පටයක් පරීක්ෂා කිරීම මගින් පමණක් සිදුකර ඇති බවද එහිදී අනාවරණය වී තිබෙනවා.

එම අපරික්ෂාකාරී තත්ත්වය හේතුවෙන් 2023 වසරේ මැයි මස සිට 2024 වසරේ ජුනි මස දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් විදේශගත කිරීමට ලියාපදිංචි බලපත්‍රලාභීන්ට අනුමැතිය දී ඇති බව ද එහිදී අනාවරණය වී තිබෙනවා.

එය ආයතනයේ වගකීම මුලුමනින්ම පැහැරහැරීමක් බවයි කෝප් කමිටුව පෙන්වා දුන්නේ.

2023 වසරේ මාර්තු මස 30, අංක 07/2023 දරන සභාපති චක්‍රලේඛයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමාන් රාජ්‍යයට සංචාරක ගිවිසුමක් නොමැතිව එම ගෘහ සේවිකාවන් විදේශගත තර තිබෙනවා.

ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සහ වගවීම පිළිබඳ එහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර එලෙස සංචාරක වීසා මත 4,942ක් විදෙස්ගත වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් රැකියාවන් ලබාදුන් බවට අදාළ ලියකියවිලි තානාපති කාර්යාලයේ පරිගණක දත්ත පද්ධතියට උඩුගතකොට නැති බවද අනාවරණය වුණා.

තවද එහිදී විදේශ රැකියා සඳහා පිටව ගොස් විවිධ ගැටලුවලට මුහුණදුන් විගමණිකයන් තාවකාලිකව රඳවාගැනීම සඳහා රැඳවුම් නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද, එම ආයතනයේ පත්වීම් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සම්බන්ධ විමර්ශනයන් සඳහා කෝප් අනු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද කෝප් කමිටුවේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.