එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.
එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් ගෙනආ මෙම වාර්තාවට කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ද සිය සහාය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔවුන් ඒකාබද්ධව නිකුත් කළ මෙම වාර්තාව මඟින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති සාමකාමී මැතිවරණ සහ සුමට බලය මාරුවීම අගය කර තිබෙනවා.
නව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වී මාස හතරක් පමණක් බැවින් මෙම සංක්‍රාන්තිය අවස්ථාවේ මුහුණ දෙන අභියෝගවලට ශ්‍රී ලංකාව දිරිමත් කිරීමට සූදානම් බවයි එමඟින් දක්වා ඇත්තේ.
සංහිඳියාව සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට රජය දක්වන කැපවීම සහ ඉඩම් ආපසු ලබාදීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවන්ට අතීතය සැමරීමට සහ ඔවුන්ගේ ආදරණීයන් සිහිපත් කිරීමට ඉඩ සැලසීම ඇතුළුව ගනු ලැබූ මූලික පියවර ඔවුන් මෙහිදී අගය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බලය බෙදා හැරීම ක්‍රියාත්මක කිරීමට සහ පාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට ඇති කැපවීම් ද මෙම රටවල් සිය වාර්තාව මඟින් අගය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට රජය ප්‍රකාශිත අභිප්‍රාය තමන් සැලකිල්ලට ගන්නා බවත් ඕනෑම නව නීති සම්පාදනයක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අය නිදහස් කිරීම ද ඔවුන් සිය වාර්තා මඟින් දක්වා ඇති තවත් ප්‍රධාන කරුණක්.
මානව හිමිකම් සහ දූෂණ නඩු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට රජය උත්සාහ කරන විට, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ සහාය ලබා ගැනීම, අතීත නිර්දේශ මත ගොඩනැගීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීම සඳහා ඕනෑම පුළුල් ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් මෙම රටවල් විසින් ඉල්ලා තිබෙනවා.
එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව සිය වාර්තා මඟින් දක්වා ඇත්තේ වන්දි සහ අතුරුදහන් වූවන් කෙරෙහි අවධානය යොමු කරන දේශීය ආයතනවල කටයුතු නැවත පණ ගැන්වීම සිදුකල යුතු බවයි.