Thursday, March 6, 2025

General line - 0115112241

චීනය හා කැනඩාවත් පෙරළා අමෙරිකාවට බදු ගසයි



චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව තීරුබදු පැනවීමත් සමග අමෙරිකාවේ අලෙවිකරන එම රටවලින් ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් ප්‍රධාන වී ඇත්තේ ජංගම දුරකතන, පාවහන්, සෙල්ලම් බඩු ප්‍රධානයි.

අමෙරිකාව තුළ අලෙවි වන සෙල්ලම් බඩුවලින් සියයට 80ක්ම ආනයනය කරන්නේ චීනයෙන්.

ඒවායේ මිල සියයට 20කින් වැඩි වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ස්මාර්ට් ජංගම දුරකතන මිල ගණන්ද සියයට 25කට වඩා වැඩි වනු ඇති බව මේ වන විටත් අනුමාන කර තිබෙනවා. 

මෙම තීරණයෙන් මෝටර් රථ අංශයට ද දැඩි ලෙස බලපෑම් එල්ල වනු ඇති බව විචාරකයින්ගේ අදහසයි.

ඒ, නිෂ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය මෝටර් රථ අමතර කොටස් අමෙරිකා - කැනඩාවේ දේශ සීමාව හරහා පැමිණීම හේතුවෙන්.

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු ද චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදු ද ඊයේ සිට පැනවීමටයි අමෙරිකාව කටයුතු කර ඇත්තේ.

මෙම තීරණයෙන් පසු ලොව පුරා කොටස් වෙලඳපොල අගයන් පහළ යමින් තිබෙනවා. 

ඇමරිකාවේ විශාලතම සමාගම් 500ක කොටස් මිල අගයන් ඊයේ රාත්‍රියේම පහත වැටී තිබුණා.

ඇතැම් සමාගම්වල කොටස් මිල සියයට දෙකකට ආසන්න අගයකින් පහත වැටී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. 

විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඇමරිකානු නිවාස මිල ගණන්ද මේ හරහා ඉහළ යනු ඇති බවයි.

කැනඩාව සහ මෙක්සිකෝව මත තීරුබදු පැනවීම යුරෝපා සංගමය ද හෙළා දැක තිබෙනවා.

මෙම තීරණය ගෝලීය වෙළඳාමට බාධාවක් වීමේ අවදානමක් ඇති බවයි ඔවුන් පවසන්නේ. 

මේ අතර අමෙරිකාවේ නව තීරණය පදනම් කර ගනිමින් චීනය ද දැඩි පියවර ගැනීමට සූදානම් වනවා.

එහි එක් පියවරක් ලෙස ඇමරිකානු නිෂ්පාදන සඳහා සියයට 15ක් දක්වා තීරුබදු දැනටමත් චීනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කුකුළු මස්, හරක් මස්, ඌරු මස් සහ සෝයා බෝංචි ද ඒ අතරට අයත්.

කැනඩාව ද ඩොලර් බිලියන ගණනක අමෙරිකානු භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අතරට  ගෘහ භාණ්ඩ, වයින්, ස්ප්‍රීතු, බියර් සහ කෝපි වැනි නිෂ්පාදන ද අයත්.

මෙක්සිකෝව ද අමෙරිකාවට එරෙහි සිය ප්‍රතිචාරය අද දිනයේදී ප්‍රකාශ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.