අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ සිටම වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ අද පෙරවරු 08 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජයනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.
32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය පෙරේදා දිනයේ තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා ලබාදී තිබෙන නේවාසිකාගාරයට යන අතරතුර නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය ගන්වා ඇය දූෂණය කර තිබුණා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බවයි.
සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පළා ආ අයෙකු බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර පෙරේදා රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා.
අමාත්‍යංශය සඳහන් කළේ සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරන බවයි.
එතෙක් සන්සුන් ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ සිද්ධිය වාර්තා කිරීමේ දී විශේෂයෙන් ම සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළිදරව් කරමින් එම වෛද්‍යවරියත් ඇගේ පවුලේ සමාජිකයනුත් අපහසුතාවයකට පත් වන අකාරයට කටයුතු නොකරන ලෙසයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලුම මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වෙතින් ද ඉල්ලීමක් කර ඇත්තේ.