Wednesday, April 2, 2025

General line - 0115112241

චාමර සම්පත් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

උදය කුමාර



අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා, එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදුකලේ යැයි ඔහුට මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරණිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ අනුව ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයාගෙන් අද දින ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පැවසුවා.

විමර්ශන අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් මෙම සැකකරු තවදුරටත් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරණිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සැකකාර චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අල්ලස් කොමිසම විසින් මෙම කරුණු ඉදිරිපත් කරන බවයි. 

පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතුවල මුදල් ඉවත් කිරීමට එහි ප්‍රධාන අමාත්‍යවරයාට බලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

මෙම නඩුවට පාදකවන ස්ථාවර තැන්පතු ගිණුම්වල මුදල් ඉවත් කරගෙන තිබෙන්නේ එවක ඌව ප්‍රධාන ලේකම්වරයාගේ තීරණයක් අනුව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පළාත් සභාවේ සේවකයින්ට උත්සව අත්තිකාරම් ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙම ස්ථාවර තැන්පතුවල අඩංගු මුදල් ඉවත් කරගෙන තිබෙන බවත් පැවසුවා. 

ඒ බව ප්‍රධාන ලේකම්වරයා විසින් පළාත් සභාවට දැනුම් දී ඇති අතර ඊට මෙම සැකකරු මැදිහත්වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

අල්ලස් කොමිසම මෙම කරුණු දැන දැනම හිතා මතා අධිකරණයට වසන් කර තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රකාශයක් අඩංගු වීඩියෝ පටයක් අධිකරණයට පෙන්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම නඩුව ගොනු කිරීමට හේතුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් වන බවත් පැවසුවා.