Sunday, April 13, 2025

General line - 0115112241

උතුරු චීනයට දැඩි සුළඟක් ගැන අනතුරු ඇඟවීමක්



උතුරු චීනයට මෙම සති අන්තයේ දැඩි සුළඟක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. 

සති අන්තයේ ඇතිවිය හැකි එම තද සුළං ප්‍රවාහය පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් හමා යා හැකි බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ. 

ඒ අනුව උතුරු චීනයේ ජනතාවට එළිමහනේ රැඳී නොසිට නිවෙස්වල රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. 

කිලෝග්‍රෑම් 50ට අඩු පුද්ගලයින් ඇතිවිය හැකි සුළං ප්‍රවාහයට හසුවුවහොත් පහසුවෙන් ගසාගෙන යා හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේදී මොංගෝලියාව හරහා උතුරු චීනය දෙසට තද සුළං ප්‍රවාහයක් ඇති වීම සෑම වසරකම සිදු වනවා. 

එහෙත් මෙවර එම සුළං ප්‍රවාහය වසර ගණනාවකින් පසු වඩාත් දැඩි විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. 

ඒ හේතුවෙන් දශකයකට පමණ පසු සුළි කුණාටුවක් පිළිබඳ තැඹිලි පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද චීන බලධාරීන් විසින් නිකුත් කර තිබෙනවා.  

මෙම සුළං ප්‍රවාහය හේතුවෙන්  බීජිංහි උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 13කින් පහත වැටෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.