Friday, April 25, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවති බව මැතිවරණ කොමසාරිස් කියයි



අද ආරම්භ වූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. 

සිරි දළදා වන්දනාවට පැමිණි ආරක්‍ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම් අද දිනයේ සිටම සකස් කළ බවයි ඔහු පැවුසවේ. 


මේ අතර පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරි විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් අසූ පහක් පමණ ළඟ තබාගෙන සිටි අපේක්‍ෂිකාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදීයි. 

පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම ඡන්ද කාඩ් පත් සොයාගෙන තිබෙනවා. 

ඒවා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහා නගර සභාව සඳහා තරග වදින චාමලී චන්ද්‍රකාන්ති නැමැති අපේක්ෂිකාවයි. 
 

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව තැපැල්කරුවෙකු විසින් මෙම ඡන්ද කාඩ් පත් සැකකාරියට ලබා දී ඇති බවත් අදාළ තැපැල්කරු අතුරුදන්ව සිටින බවත් පොලීසිය පවසනවා.