Thursday, April 24, 2025

General line - 0115112241

ලක්ෂයකට ආසන්න පිරිසක් අදත් සිරි දළදා සමිඳුන් වැඳපුදා ගනී



දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සෙංකඩගලපුර සිරි දළදා වන්දනාව අද 07 වන දිනටත් පැවැත්වුණා. 

ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් අද දිනයේදී ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර තවත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් ඉදිරි දිනවලදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අරමුණෙන් යුතුව කිලෝමීටර් ගණන් දිගු වූ පෝළිම්වල රැඳී සිටිනවා. 

පැමිණ සිටින අනපේක්‍ෂිත ජනකාය පාලනය කර ගැනීමේ අරමුණින් පෝළිම්වල රැඳී සිටින සැදැවතුන්ට හඳුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය අද දිනයේ පියවර ගත්තා. 

ඒ අනුව එක් ලක්ෂ 50,000කට පමණ එම හඳුනාගැනීමේ ස්ටිකර් ලබා දී ඇති බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.  


මේ අතර සිරි දළදා වන්දනාව සඳහා නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි බලධාරීන් මහජනතාවගෙන් යළි ඉල්ලා සිටින්නේ. 

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජනතාව අපහසුතාවන්ට පත්වීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි.  


සැදැහැවතුන් දළදා වන්දනාව සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ මහනුවර නගරය දක්වා රැගෙන එමින් තිබූ බස්රථ අතරමගදී නතර කිරීමට පියවර ගත් බවයි පොලීසිය පවසන්නේ. 

මහනුවර අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිපාලන හා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා. 


මහනුවරට පැමිණ සිටින අති විශාල ජනතාව පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.