Friday, April 26, 2024

General line - 0115112241

එළුග තමිල් නිසා දෙමළ සන්ධානය දෙදරයි




දෙමළ මහජන සභාව මගින් ඊයේ සංවිධාන කළ ‘‘එළුග තමිල්’’ නමැති විරෝධතා ව්‍යාපාරය සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ කිසිවෙකුත් සහභාගී නොවුණු බව පළාත් සභා අමාත්‍ය පී. සත්‍යලිංගම් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුව පක්ෂයේ සාමාජිකයන් ඊට සහභාගී නොවූ බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ මහජන සභාව විසින් මෙම එළුග තමිල් විරෝධතාව ඊයේ (24) සංවිධාන කර තිබුණා. ඒ, ‘‘දෙමළ ජනතාවනි නැගිටුව්’’ යන තේමාව යටතේ.

උතුරු පළාතේ නගර කිහිපයක වෙළඳසැල් වසා දමා මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණා.

කෙසේ වෙතත් එහි දී අදහස් දැක් වූ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සඳහන් කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පවත්වන විරෝධතා පිළිබඳ දකුණේ සිංහල ජනතාව වරදවා වටහා නොගත යුතු බවයි.

මේ අතර කිලිනොච්චියේ පිහිටි සතොස සේවකයන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට ඊයේ (24) පස්වරුවේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එළුග තමිල් විරෝධතා පැවති ඊයේ දිනයේ යාපනය සහ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබුණා.

එහෙත් කිලිනොච්චියේ පිහිටි සතොස ශාඛාව විවෘත කර තැබූ බැවින් විරෝධතාවට සහය දැක් වූ පිරිසක් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි සැක කරන්නේ.