Friday, April 26, 2024

General line - 0115112241

ලොකු නත්තල් ගසේ වැඩ යළි අරඹයි




කොළඹ ගාලු මුවදොර පිටියේ සිදු කෙරුණු ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙනවා.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඒ බව තහවුරු කළා.

මෙම නත්තල් ගසේ ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු කර තිබූ මුළු වියදම රුපියල් ලක්ෂ 120 ක්. එහි ඉදිකිරීම් නවතා අදාළ මුදල් දිළින්දන් අතර බෙදා දෙන ලෙසයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යෝජනා කළේ.

මෙතරම් විශාල වියදමක් දරා නත්තල් ගසක් ඉදිකිරීම මුදල් නාස්තියක් නොවන්නේදැයි නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින්ද ප‍්‍රශ්න කෙරුණා.

මෙම නත්තල් ගසේ ඉදිකිරීම් නතර කෙරුණේ ඒ අනුවයි. ඉදිකිරීම් නැවත ආරම්භ කළේ සාකච්ඡාවකින් පසුව බව නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාව සිදු කෙරුණේ කා සමගදැයි හෙළි කිරීම නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කළේ මෙයට යළි මාධ්‍ය මගින් ප්‍රචාරය ලැබීමත් සමග නත්තල් ගසේ ඉදිකිරීම් යළි නැවතිය හැකි බවයි.